පසු ප්‍රසව විශාධය යනු පුර්ව ප්‍රසව අවධිය තුල හෝ දරු ප්‍රසුතියකින් අනතුරුව ඇති වන විශාධ තත්වයකි. බොහෝ මව්වරුන් එනම්, 80%ක් පමණ මව්වරුන් දරු ප්‍රසුතියකින් පසු තමන්ට දැනෙන ශාරීරික අපහසුකම් නිසා මානසික වශයෙන් යම් පීඩනයකට පත්ව සිටියි. මෙය බොහෝ විට ප්‍රසුතියෙන් පසු සති දෙකක පමණ කාලයක් අත්විඳින අතර වෛද්‍ය උපදෙස් වලින් තොරව සුවවිය හැකිය. නමුත් යම් මවක් යථාතත්වයට පත්නොවී ව්‍යාකුල මානසික ස්වභාවයක් දිගින් දිගටම පෙන්නුම කරයි නම් එය පසු ප්‍රසව විශාධය යටතට ගැනේ.
දරුවා ප්‍රසුත කර දින හතකින් පමණ පසුව විශාධයේ ලක්ෂණ පෙන්නුම් කෙරේ. මවක් සිය දරුවා බිහි කිරීමෙන් අනතුරුව ගත වන සති තුනක් – හතරක් අතර කාලය මෙන්ම වසරක පමණ කාලයක් ගත වනතුරුම පසු ප්‍රසව විශාධය ඇති වීම සඳහා නැඹුරුතාවයක් ඇත.
පසු ප්‍රසව විශාධය ඇතිවීමට බලපාන හේතු.
ජීව විද්‍යාත්මක හේතු:
ගර්භණී කාලයේදී මෙන්ම, දරුවා ලැබීමෙන් පසු කාලයේදී මවගේ විශාල ජීව විද්‍යාත්මක වෙනසක් සිදුවේ. එනම්, කාන්තාවක් මවක් ලෙස තම දරුවා වෙනුවෙන් කායිකව මෙන්ම මානසිකවත්, ජීව රසායන ක්‍රියාවලියේත්, (හෝර්මෝන) සිදුවන වෙනස්කම් මෙන්ම ප්‍රසුතියෙන් අනතුරුව ශරීරය යථාතත්වයට පත්වීමත් යන කරුණු හේතුවෙන් මවගේ යහපත් මානසික තත්වයට බලපෑමක් එල්ලවිය හැකිය. මෙය පසු ප්‍රසව විශාධය දක්වා වර්ධනය විය හැකිය.
කායික හේතු :
දරු ප්‍රසුතිය අවස්ථාවේදී සිදුකල සැත්කම් හේතුවෙන් ඇතිවන අපහසුතා මෙන්ම, ඇතිවන විවිධ සංකුලතා හේතුවෙන් පසු ප්‍රසව විශාධය තත්වයක් හටගැනීමට බලපෑමක් ඇතිවේ. මිට අමතරව දරුවාට කිරි ලබා දීමේදී සිදුවන අපහසුතා වැනි තත්වයන්ද මෙයට බලපෑම් ඇති කරයි.
මානසික හේතු :
නව දරු උපතක් සිදු වූ පසු, පවුලේ වැඩිහිටියන්ගේ මෙන්ම සැමියාගේ අවධානය දරුවා වෙත යොමු වීම, මව සහ දරුවා අතර ගොඩනැගෙන වගකීම් සහගත සම්බන්ධතාවය නිසා දරුවා කෙරෙහි තිබෙන වගකීම හේතුවෙන් අනවශ්‍ය බියට පත්වීම, දරු ප්‍රසුතිය සිදුකිරීමේදී ලද අත්දැකීම් සිහිවිමේදී ඇතිවන කම්පනයන් වැනි මානසික තත්වයන්ද පසු ප්‍රසව විශාධය ඇතිවීම කෙරෙහි බලපෑම් ඇති කරයි.
සමාජීය හේතු :
ප්‍රසුතියෙන් අනතුරුව මව, දරුවාගේ කාර්යයන් සමඟ කාර්යබහුල වීමත්, ඇය ඇසුරු කල මිතුරු මිතුරියන් පෙර මෙන් ඇසුරු කිරීමට නොහැකිවීම, සමාජ සම්බන්ධතා අවම වීම, කරදරකාරී පවුල් පසුබිමක් තුල ජීවත්වීම වැනි කරුණු සමාජීය වශයෙන් මෙම රෝගී තත්වයට බලපෑම් කල හැකිය.
ආර්ථික හේතු :
රැකියාව අහිමිවීම වැනි ගැටළු හේතුවෙන් ඇතිවන ආර්ථික අපහසුතා, සැලසුමක් නොමැතිව අනපේක්ෂිතව සිදුවූ ගැබ් ගැනීම් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇති වීම යන ආර්ථික තත්වයන්ද මෙම රෝගී තත්වයට බලපෑමක් ඇති කරයි.
මිට අමතරව පරම්පරාගතව පවතින මානසික රෝගී තත්වයන්, පෙර සුව වූ විශාධය රෝගී තත්වයන් මෙන්ම කාන්තාවන්ගේ පෞර්ෂයේ පවතින ගැටළුකාරී තත්වයන් නිසා පසු ප්‍රසව විශාධය ඇති විය හැකිය.
පසු ප්‍රසව විශාධයේ රෝග ලක්ෂණ.
- දුක, එපාවීම, හැඩීම වැනි මනෝභාවයන් ඇති වීම.
- දරුවා සමග ඇතිවන ශක්තිමත් නොවන බැදීම, දරුවා ප්‍රතික්ෂේප කිරීම.
- සැමියා, පවුලේ සාමාජිකයන් එපා වීම.
- ආහාර ගැනීම මග හැරීම.
- නින්ද නොයාම හෝ වැඩිපුර නින්ද.
- ශරීර ශක්තිය හීන වීම.
- කලකිරීම, වෙනදා සතුටු වන දේවල් වලින් සතුටට පත් නොවීම.
- දැඩි තරහා සහ නුරුස්නාකම.
- තමන් පිලිබඳ වරදකාරී හැඟීම.
- අපේක්ෂා භංගත්වය.
- දරුවාට හෝ තමාට හානි කරගන්නට සිතීම.
- සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීම.
පසු ප්‍රසව විශාධය වලක්වා ගන්නේ කෙසේද ?
පසු ප්‍රසව විශාධය වලක්වා ගැනීමට මුළිකව උපකාර වන කරුණ නම් පවුලේ සහයෝගය මව වෙත ලබාදීමයි. එසේම මව වෙත විශේෂ අවධානයක් ලබාදීමත් වැදගත්වේ.
අලුත උපන් දරුවකු සිටින මවකට අවශ්‍ය කරන විවේකය ලබාදීමට පවුලේ සාමාජිකයන් කටයුතු කිරීම වැදගත් වන අතර ප්‍රමාණවත් නින්දට සුදුසු පරිසරය සකසා දියයුතුවේ.
මවගේ ශාරීරික තත්වයන් නිතර විමසීමට ලක් කිරීම මගින් කල් වෙලා ඇතුව රෝගී ලක්ෂණ හඳුනාගැනීමට කටයුතු කිරීමද වැදගත්වේ. එසේම ඇයට නිතර සවන්දීමද සිදුකලයුතුය.
මවගේ හිත මිතුරන් සමග දුරකතනයෙන් හෝ සම්බන්දතා ඇති කරගැනීමට සැලැස්වීම, මුණගැසී කතා කිරීම සහ කෙටි දුර ගමන් වැනි උචිත ආකාරයේ කෙටි ගමනකට සම්බන්ද කිරීම මඟින් ඒකාකාරී බවින් මිදීමට ඉඩ ලබාදීම වැදගත්වේ.
කෙටි ව්‍යායාම, භාවනා ක්‍රම සඳහා හුරු වීමද වැදගත්වේ.
ගර්භනී මවක් සිටින පවුලේ සාමාජිකයන් වෙත පසු ප්‍රසව විශාධය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබාදීමද මේ රෝගී තත්වය වලක්වා ගැනීමට උපකාරීවේ. එසේම මෙම රෝගී තත්වයෙන් පීඩාවිඳින මව් වරුන්ට යම් අස්වැසිල්ලක් ලබාදීමට නිවැසියන් දැනුවත් කිරීමද වැදගත්ය.
දරුවකු සැලසුම් කිරීමට පෙර ශාරීරික, මානසික, සමාජයීය හා ආර්ථික ගැටළු තිබේ නම් එම ගැටළු වලට පිළියම් දීමෙන් අනතුරුව දරුවකු සැලසුම් කිරීමද මෙම තත්වය මගහරවා ගැනීමට හැකිවේ.
පසු ප්‍රසව විශාධය සුව කරගැනීමට ගත හැකි පියවර.
පසු ප්‍රසව විශාධය යනු හදුනාගෙන ප්‍රතිකාර කිරිමෙන් පුර්ණ ලෙස සුවය ලබාගත හැකි රෝගී තත්වයකි.
මවක් වූ කාන්තාවකට පසු ප්‍රසව විශාධය ඇතැයි සැකයක් පවතී නම් එය පුහුණුවලත් මනොවෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීම අත්‍යවශ්‍යවේ.
මිට අමතර අවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර මනෝ උපදේශකවරයෙකු මාර්ගයෙන් අවශ්‍ය මනෝ සමාජයීය මැදිහත්වීම ලබාගැනීමට කටයුතු කිරීම සිදු කලයුතුවේ. එසේම පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපකාර පැතීමද සුදුකල හැකිය.
පසු ප්‍රසව විශාධය හදුනාගැනීම සහ වලක්වා ගැනීමේ වැදගත්කම.
විශාධය තත්වය හේතුවෙන් ඇතිවන ව්‍යාකුලතා නිසා දරුවාට කිරි දීම ප්‍රතික්ෂේප කිරීම, මව් දරු සම්බන්ධතාවය බිඳවැටීම දරුවාගේ ශාරීරික, මානසික සහ චාලක ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකිරීම සිදුවිය හැකිය.
අඹුසැමි අඬදබර, පවුල් සාමාජික ආරවුල් මෙම තත්වය සමඟ ඇතිවීමට බොහෝ ඉඩකඩක් තිබේ. එසේම දරුවාට හානි පැමිණවීම, සියදිවි නසාගැනීම වැනි ඉහතකි තත්වයන් වලක්වා ගැනීමට පසු ප්‍රසව විශාධය හදුනාගෙන වලක්වාගැනීම ඉතාම වැදගත්වේ